ʀ ᴇ ᴄ ɪ ᴘ ᴇ 📖️ බත් වර්ග 10 ක රෙසිපී
කැබේජ් රයිස්/ නාසි ගොරෙන්/ චොප්සූයි රයිස්/ චිකන් බිරියාන/ පොල් කිරි දමා සැදූ සුවඳ හමන කහබත්/චිකන් ෆ්‍රයිඩ් රයිස්/ දුන්තෙල් බත්/ පරිප්පු බත් (ඩාල් රයිස් ) ලෙමන් රයිස්/ සහ සීෆුඩ් රයිස්..
01. Cabbage Rice - ගෝවා බත්
මේක දකුණු ඉන්දියාවෙ ප්‍රසිද්ධ කෑමක්. මේ බත් එක විශේෂ අවස්ථාවකදි මස් මාළු කන්නෙ නැති අය වෙනුවෙන්ම වුනත් හදලා දෙන්න පුළුවන් ඔයාලට.
අවශ්‍ය දේවල්:
උයාගත්ත බත් කෝප්ප 2
පොඩියට කපාගත්ත ගෝවා කෝප්ප 2
තෙල් මේස හැදි 3 (එලවළු තෙල් හෝ පොල් තෙල්)
අබ ඇට තේ හැදි 3/4
සූදුරු තේ හැදි 1
කරපින්චා කොළ 5-6
රට කජු මේස හැදි 2
දෙකට පලා ගත්ත අමු මිරිස් කරල් 1
පොඩියට කපා ගත්ත ළුණු ගෙඩි 1/2
ගාගත්ත කැරට් අල 1/4
පොඩියට කපාගත්ත මාලු මිරිස් මේස හැදි 2
ලුණු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැදි 1/2
ගරම් මසාලා කුඩු තේ හැදි 1/2 (සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන්)
ගාගත්ත පොල් මේස හැදි 2
පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ පොඩ්ඩක්
සාදාගන්නා ආකාරය:
මුලින්ම භාජනයක් අරන් ලිපේ තියලා ඒකට තෙල් දාලා අබයි සූදුරුයි කරපින්චයි දාලා අබ ටික පුපුරනකම් ලිපේ තියාගන්න.
ඊළගට රටකජු ටිකත් දාලා බැදෙන්න තියන්න.
රට කජු ටික බැදෙනකොට ළුණුයි අමු මිරිස් කරලයි එකතු කරලා ඒවත් බැදගන්න.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ කැරටුයි මාලු මිරිසුයි ටික ඒකට එකතුකරගන්න එක.
මේ ටික හොදට තෙම්පරාදු වීගෙන එනකොට ගෝවා ටික මේකට එකතු කරගෙන විනාඩ් 3ක් විතර ලිපේ තියාගන්න.
ඒ එක්කම ලුණු ටිකකුත් දාන්න.
ඊලගට ගරම් මසාලයි මිරිස් කුඩුයි කහ කුඩුයි මේ එළවළු මිශ්‍රණයට එකතු කරගන්න.
දැන් ගින්දර ටිකක් අඩු කරලා හදාගත්ත බත් ටික එළවලු මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. මේ වෙලාවෙදි රස ටිකක් බලලා ලුණු මදි වගේනම් ටිකක් එකතු කරගන්න.
බත් ටික දැම්මට පස්සෙ භාජනේ පියනකින් වහලා විනාඩි 3ක් විතර ලිපේ තියාගන්න ඕනෙ.
විනාඩි 3කට පස්සෙ පියන ඇරලා බලන්නකෝ බත් එක ලස්සන පාටට තියනවා.
ඊට පස්සෙ අන්තිමට අපිට කරන්න තියෙන්නෙ ගාගත්ත පොල් ටිකයි කොත්තමල්ලි කොළ ටිකයි බත් එකට එකතු කරලා කලවම් කරගන්න එක.
එච්චරයි! ඔන්න අපි "ගෝවා බත්" එක හදලා ඉවරයි! ඊට පස්සෙ ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.
මම මේ බත් වර්ගය සඳහා මසාලා රසට ඉස්සන් කරි එකක් සමඟ පිපිඤ්ඤා, ස්ටීම් කරගත් බේබිකෝන් සහ බේබි කැරට් සහ සලාද කොල ටිකක් එකතු කර ගත්තා. ඔයාලටත් කැමති විදියට රස බලන්න පුළුවන්. නිර්මාංශ බත් වර්ගයක් නිසා මස් මාළු නැතුව වුවද රස බලන්න පුළුවන්.
02. Nasi goreng (නාසි ගුරාන්)
නාසි ගුරාන් කියලා ලංකාවෙ භාවිතා කලාට මේකෙ නියම නම Nasi goreng. ඉන්දුනීසියානු ෆ්‍රයිඩ් රයිස් වර්ගයක් වන මෙය ඉතාම රසවත් බත් වර්ගයකි.
ඉන්දුනීසියාවේ වගේම සිංගප්පූරුවෙත් මෙම බත් වර්ගය හරිම ජනප්‍රියයි.
විවිධ ක්‍රමයට මෙම බත් වර්ගය පිළියෙල කරන අතර ශ්‍රී ලංකාවෙ ගොඩක්ම පිලියෙල කරන්නෙ එලවලු සහ කුකුල් මස්, ඉස්සො දැල්ලො යොදා ගනිමිනි.
මෙහි විශේෂත්වය වන්නේ බත් එක බැදගත් බිත්තරයක් සමග පිළිගැන්වීමයි.
ඒ වගේම බැදපු ඉස්සො, චිකන් සාතේ සහ අන්නාසි, තක්කාලි සහ පිපිඤ්ඤා පෙතිද ඇතුළත් වේ.
ඒ වගේම මෙම බත් එක පිලියෙල කිරීම සඳහා දවසක් ශීතකරණයේ දැමූ බත් තමයි යොදා ගන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය
පිසගත් බත් ( බාස්මතී/ හීනි ඇට දිගැටි හාල් වර්ගයකින් පිසගත්.) කප් දෙකක්
සිහින්ව කොටු කපා ගත් කුකුල් මස් 150g
පොතු ඉවත් කර කපා ගත් ඉස්සන් 100g
රවුම් කපා ගත් දැල්ලන් 100g
කොටු කපා ගත් කැරට් 100g
සිහින්ව කපා ගත් ගෝවා100g
සිහින්ව කපා ගත් ළුෑණු කොල 100g
කපා ගත් ලොකු ළුෑණු ගෙඩියක්
කපා ගත් රතු මිරිස් කරල් දෙකක්( ඇට ඉවත් කල බෙල්පෙපර් මං ගත්තෙ. බෙල්පෙපර් ගන්නවා නම් ගෙඩි බාගයක් ඇති)
ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේ හැඳි 02
සෝයා සෝස්, ෆිෂ් සෝස්
රස අනුව ලුනූ ගම්මිරිස් කුඩු
බටර් හෝ තෙල් මේස හැඳි 01
ගසා ගත් බිත්තර 02
චිලිපේස්ට් මේස හැඳි 01
මේ ප්‍රමාණය 04 දෙනෙකුට සෑහේ
සාදන ක්‍රමය
මුලින්ම පෑන් එක ලිපේ තබා තෙල් හෝ බටර් දමන්න. එය රත් වේ ගෙන එන විට කුකුල් මස්, ඉස්සන් සහ දැල්ලන් දමා හොඳින් බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට කැරට්, ළුෑණු සහ රතු මිරිස් එකතු කරන්න. දැන් පෑන් එකේ මැද වලක් මෙන් සාදා ගසා ගත් බිත්තර එකතු කරන්න. බිත්තර ස්ක්‍රැම්බල් කරන්න. එයට කපා ගත් ගෝවා එකතු කර චිලිපේස්ට් ටික එකතු කර හොඳින් කලවම් කරන්න. ( සුපර්මාර්කට් වල තියෙනවා නාසිගුරාන් මික්ස් පැකට්. ඒවට වඩා රසයි මෙහෙම හැදුවම) දැන් බත් ටික එකතු කර හොඳින් ෆ්‍රයි වෙන්න හරින්න. විනාඩි පහක් විතර.
(බත් එක දවසක් ශීතකරණයේ තැබීමෙන් මනා රසක් එකතු වේ. ඒ වගේම හොඳින් ෆ්‍රයිඩ් කරගත හැක. මං අරන් තියෙන්නෙ තායි හාල් වර්ගයක්. ඒ වර්ගයත් ගොඩක් රසයි. කීල්ස් සුපර් තියෙනවා)
ඉන්පසුව සෝයා සෝස් හා ෆිෂ් සෝස් එකතු කරන්න.
( සුපර්මාර්කට් වල තියෙනවා ස්වීට් සෝයා සෝස්. ඒක ඉන්දුනීසියාවෙන් ලංකාවට එන්නෙ. රෙස්ටුරන්ට් වල යොදා ගන්නෙ ඒක)
දැන් රස අනුව ලුණු ගම්මිරිස් කුඩු ඉස බබාලට සැර වැඩියි වගේ නම් සීනි චුට්ටක් ඉස ලිප නිවා ළුෑණු කොල ටික එකතු කරන්න. දැන් ඉතිං ඉහත කී ලෙස පිලිගන්වන්න.
03.චොප්සූයි රයිස් ( Chop Suey rice)
චොප්සි එක සදා ගැනීමට
අවශ්‍ය ද්‍රව්‍ය
🌺 කටු රහිත මාළු, ඉස්සො, දැල්ලො, චිකන් 50g බැගින්
🌺 කැරට්, බේබිකෝන්, අල, බෝංචි, මල්ගෝවා, ගෝවා, බ්‍රොකලි, හතු යනාදි එලවලු වලින් 50g බැගින්
🌺 වතුර අඬුකෝප්ප 02
🌺 තෙල් මේස හැඳි 02
🌺 ඔයිස්ටර් සෝස්, සෝයි සෝස්, ෆිෂ් සෝස් තේහැඳි 01 බැගින්
චොප් කර ගත් ලොකු ළුෑණු ගෙඩි කාලක් සහ සැල්දරි ස්වල්පයක්
🌺 කෝන්ෆ්ලා මේස හැඳි 02
🌺 ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේහැඳි 01
🌺 රස අනුව ලුණු ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය
මුලින් ම එලවලු ටික සිහින් ව කපා ගන්න. මස් මාළු ටික සෝදා පසෙකින් තියන්න. දැන් පෑන් එකක් ලිපේ තබා වතුර අඬුකෝප්ප දෙ3ක දමන්න. එය හොඳින් උණු වී ගෙන එද්දි අල, කැරට් දමා විනාඩි දෙකකින් පසුව බේබිකෝන්, මල් ගෝවා, බ්‍රොකලි (මං ගත්තෙ නැහැ) එකතු කරන්න. තත්පර 30කින් බෝංචි එකතු කරන්න. තවත් තත්පර 30කින් ගෝවා එකතු කරන්න. ගෝවා එකතු කිරීමෙන් පසුව එලවලු වල වතුර පෙරා අයිස් වතුරට දාන්න. අයිස් වතුරට දැමීමෙන් රස්නෙට එලවලු තව දුරටත් පිසෙන එක නවතිනවා. එයින් එලවලු වල පැහැය ආරක්ෂා වෙනවා. ගොඩක් අයට චොප්සි සැදීමේදී එලවලු වල පාට ඒ විදියට තියා ගන්න බැරි වෙන එක වලක්වා ගන්න පුළුවන් මේ විදියට කලාම. එතකොට එලවලු අමුත් නැහැ.. ලස්සන පාටත් රැදිලා තියෙනවා..
දැන් බාජනයක් ලිපේ තියලා තෙල් මේස හැදි දෙක දාන්න. එය රත් වන විට ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක දමා බැදෙන විට කපා ගත් ළුෑණු ටික සහ සැල්දරි (සැලරි)
එකතු කරන්න. හොඳ සුවදක් එනවා මේ වෙලාවෙදි.. එතකොට මස් මාළු ටික එකතු කර හොඳින් පිස ගන්න. ඉස්සො ටික රතු පාට වෙනවා. දැල්ලො ටිකත් ලස්සනට මුදු හැඩයට එනවා. මාළු ටිකත් ඒ වෙද්දි තැම්බෙනවා. දැන් සෝයා සෝස් තේහැඳි එකක් සහ ෆිෂ් සෝස් තේහැඳි එකක් එකතු කරන්න.. හොඳින් කලවම් කරන්න. දැන් තම්බා ගත් එලවලු ටික එකතු කර වෙජිටබල් ස්ටොක් (එලවලු තැම්බීමෙන් පසුව පෙරා අයින් කල වතුර ටික) එකතු කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් කුඩු එකතු කරන්න. වතුර අඬුකෝප්ප කාලකට කෝන්ෆ්ලා සහ ඔයිස්ටර් සෝස් එකතු කර චොප්සි එකට එකතු කරන්න. උකු වෙන විට ලිපෙන් බා ගන්න..
මේ චොප්සි එක හරිම සුවදයි,, ඒ වගේම රසයි..
එලවලු එකතු කිරීමේ දි ඔයාලට තියෙන එලවලු ගන්න පුළුවන්.. බේබිකෝන් නැත්නම් කෝන් ඇට වුවද ගන්න පුළුවන්.
ෆ්‍රෙෂ් බේබිකෝන් නැත්නම් ටින් කල ඒවා ගන්න පුළුවන්. එලවලු විවිධ හැඩයට කපා ගැනීමෙන් චොප්සි එක අලංකාර කර ගත හැක.
සාමාන්‍ය විදියට ෆ්‍රයිඩ් රයිස් එකක් සාදා උඩින් මේ චොප්සි එක අතුරා බුල්ස්අයි එකක් තබා පිලිගන්වන්න.
04. සී ෆුඩ් රයිස් ( Sea Food Fried Rice )
බත් වර්ග අතර ෆ්‍රයිඩ් රයිස් වර්ග ගණනාවක් තියෙනවා.. ඒත් අපි වැඩිපුර ම හදන්නෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් හෝ මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් නේද? අපිට ලේසි නිසාද මන්දා මමත් නිතරම ඉහත කී වර්ග දෙක තමයි හදන්නේ.. අපි ඒ රස වලට හුරු වෙලා නිසා මේ සී ෆුඩ් රයිස් එක හදලා බලන්නකෝ කොච්චර ලොකු වෙනසක් එක පාරටම දැනෙනවද කියලා..
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හෝ සම්බා සහල් වර්ගයකින් 500g
තලපත් මාළු 200g
පොතු ඉවත් කර ගත් ඉස්සන් 200g
සිහින්ව කපා ගත් දැල්ලන් 200g
චිලිපේස්ට් මේස හැඳි 02
සිහින්ව කපාගත් කැරට්, ළුෑණු කොල ටිකක්
සෝයි සෝස්, ඔයිස්ටර් සෝස් හා ෆිෂ් සෝස්
සෙස්මි ඔයිල් (අත්‍යවශ්‍ය නැත)
තෙල් මේස හැඳි 02
චොප් කරගත් ලොකු ළුෑණු ගෙඩි බාගයක්
තලා ගත් ඉඟුරු සුදුළුෑණු සහ කරපිංචා ටිකක්
රස අනුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක්
සාදන ක්‍රමය
ඉස්සො, දැල්ලො සහ මාළු ටික බාජනයකට දමා ලුණු, කහ, මිරිස් කුඩු තේහැඳි එකක්, ගම්මිරිස් කුඩු තේහැඳි බාගයක් සහ දෙහි යුෂ ටිකක් දමා කලවම් කර පැය බාගයක් තබන්න..
බත ඇට වෙන් වන සේ පිස ගෙන හොඳින් නිවෙන්නට හරින්න..
දැන් පෑන් එක ලිපේ තබා තෙල් දමා රත් වන විට ඉඟුරු සුදුළුෑණු, ළුෑණු සහ කරපිංචා ටික දමා බැදෙන විට සී ෆුඩ් ටික එකතු කරන්න.. හොඳින් බැදෙන්නට හරින්න. (මෙරිනේට් කරපු බාජනයේ තැවරී ඇති සියල්ල ම එකතු කර සී ෆුඩ් ටික තෙලට දාන්න ඕනි..) දැන් හොඳ සුවඳක් විහිදෙනවා.. එතකොට ලිපේ දැල්ල අඩු කරලා චිලිපේස්ට් ටික එකතු කරන්න. දැන් කැරට් ටික එකතු කර නිවෙන්නට තිබූ බත් එක එකතු කරන්න. දැන් ලිපේ ගින්දර වැඩි කරලා සෝයි සෝස්, ඔයිස්ටර් සෝස් හා ෆිෂ් සෝස් එකතු කරන්න.. පෑන් එකේ මිටෙන් අල්ලා සොලවමින් බත් එක ෆ්‍රයිඩ් වෙන්න හරින්න.. ලිපේ දැල්ල පෑන් එක තුලට එනවා නම් හරි.. රෙස්ටුරන්ට් වල බත් එක ෆ්‍රයිඩ් කරන්නේ එහෙමනෙ.. දැන් කපා ගත් ළුෑණු කොල ටික දමා කලවම් කරන්න.. රස අනුව ලුණු ගම්මිරිස් කුඩු එකතු කරන්න.තියෙනවා නම් සෙස්මි ඔයිල් ටිකක් ඉස ලිපෙන් බා ගන්න.. රෙස්ටුරන්ට් රස සහ චයිනීස් සුවඳ එන්නෙ එතකොට තමයි.. ඒ වගේම බත් ඇට වලට ෂයින් එකකුත් ලැබෙනවා..
කඩවල් වල වගේ රසකාරක නොදා හදා ගත්තම ශරීරයටත් හොඳයි නෙ.. ඔයාලා අකමැති නම් සෝස් වර්ග ටික නොදා හදන්නත් පුළුවන්.. නියම සී ෆුඩ් රස දැනෙනවා එතකොටත්..
05. චිකන් බිරියානි
ලේසියෙන්ම රසට චිකන් බිරියානි එකක් හදා ගන්න හැටි තමයි අද මයි කිචන් ෆේස්බුක් පිටුව ඔබට ඉදිරිපත් කරන්නේ.. උත්සව අවස්ථා වලදී හෝ නිවසේ සාමාන්‍ය කෑම වේලකට හෝ පහසුවෙන් ම හදා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ..
බිරියානි එකක් සැදීමේද දැන ගත යුතු ප්‍රධාන කරුනු 04ක් තියෙනවා..
1. හාල් වල තත්වය
2. බත හරියාකාරව පිස ගැනීම
3. චිකන් කරි එක පිලියෙල කර ගැනීම
4. හරියාකාරව බත කලවම් කර ගැනීම
බාස්මතී හෝ සූදුරු සම්බා වගේ හාල් වර්ගයක් ගන්නවා නම් ගොඩක් හොඳයි රසට වගේ හොඳ පෙනුමක් බිරියානි එකට ලබා ගන්න පුළුවන්.
ස්ටා අනීස්, බේලීෆ් සහ ගරම් මසාලා පවුඩර් වෙලඳපොලේ මිලදී ගන්න තියෙනවා.
මුලින්ම චිකන් එක මැරිනේට් කර ගමු.
අවශ්‍ය ද්‍රව්‍ය සහල් (500gකට)
කුකුල් මස් 250g
යෝගට් කෝප්ප බාගයක් (පැනි රස නැති)
ගම්මිරිස් කුඩු තේහැඳි 01
කහකුඩු තේහැඳි 1/2
ගරම් මසාලා පවුඩර් තේහැඳි 1/2
මිරිස් කුඩු තේහැඳි 01
කපා ගත් කොත්තමල්ලි කොල ටිකක්
බේලීෆ් 01
ස්ටාර් අනීස් 01
චොප් කර ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2
පෙති කපා බැද ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2
කොටු කපා ගත් තක්කාලි ගෙඩි 01
කපාගත් අමුමිරිස් කරල් 03
කුරුදු පොතු ස්වල්පයක්
කරඳමුංගු ඇට 04
කරාබු නැටි 03
ගම්මිරිස් ඇට තේහැඳි 1/2
රස අනුව ලුණු
බටර් හෝ ගී මේස හැඳි 01
එලවලු තෙල් මේස හැඳි 01
සාදන ක්‍රමය
කුකුල් මස් ටික සෝදා කපා ලුණු කුඩු, යෝගට්,මිරිස් කුඩු, කහකුඩු, ගරම් මසාලා පවුඩර් දමා කලවම් කර පැය දෙකක් තබන්න.
බාස්මතී සහල් ගන්නවා නම් සෝදා පැය බාගයක් පෙඟෙන්න තියන්න.
දැන් පෑන් එක ලිපේ තබා එලවලු තෙල් මේස හැඳි 01 දමා රත් වන විට බේලීෆ්, කරාබු නැටි, කුරුදුපොතු, කරඳමුංගු, ස්ටා අනීස් සහ
ගම්මිරිස් ඇට ටික දමා බැදෙන විට සහල් ටික දමන්න. දැන් උතුරන වතුර දමා බත 60%ක් වෙන තුරු පිස ගෙන වතුර පෙරා පැත්තකින් තියන්න.
දැන් ටිකක් ලොකු බාජනයක් ලිපේ තබා බටර් හෝ ගිතෙල් දමා රත් වන විට ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක දමා බැදෙනවිට කපා ගත් ලොකු ළුෑණු ගෙඩි බාගය දමා ටික වෙලාවකින් තක්කාලි සහ අමුමිරිස් ටික එකතු කරලා බැදෙන්න හරින්න. දැන් සීසන් වෙන්න තිබූ මස් එක එකතු කර කලවම් කර වතුර 50ml එකතු කරන්න. විනාඩි පහක් ගියාට පසු කපා ගත් කොත්තමල්ලි කොල ටික එකතු කරන්න. දැන් තම්බා ගත් සහල් ටික උඩින් අතුරන්න. ඊට උඩින් බැදපු ළුෑණු ටික අතුරන්න. කිරි 10mlකට කහපාට කලරින් ස්වල්පයක් එකතු කර බත් එක වටේට ඉස ගන්න. කලරින් කුඩු එකතු කරනවා නම් වතුර සමඟ කලවම් කර බාජනය අඩියට කුඩු මිදුන පසු වතුර ටික බතට ඉසින්න. දැන් පියන වසා හුමාලය පිට නොවෙන විදියට මද ගින්නෙ විනාඩි පහලොවක් පිස ගන්න. (මං නම් පෑන් එකේ පියන වටේට පාන් පිටි වලින් ඩෝ එකක් හදලා කවර් කලා. )
දැන් බිරියානි එක හොඳ සුවඳට තියෙනවා. චිකන් සමග බත් ටිකක් එන ලෙස බෝල් එකට බෙදා කැමති විදියට සරසා පිලිගන්වන්න.
06.දුන් තෙල් බත්
බත් වර්ග අතර ගොඩක් රසවත් වගේම හොඳ සුවඳක් තියෙන බත් වර්ගයක් තමයි දුන් තෙල් බත් කියන්නේ.. ගොඩක් අය දන්නෙ නැහැ දුන්තෙල් බත් කියන්නේ මොනවටද කියලා. දුන්තෙල් කියන්නෙ buffalo gee වලට. ගොඩක් අය හිතන්නේ cow gee වලට තමයි දුන්තෙල් කියන්නෙ කියලා. ගිතෙල් කහ පාටයි. දුන්තෙල් සුදු පාටට හුරුයි. ඒවගේම දුන්තෙල් ටිකක් දියාරුයි. මීකිරි නිෂ්පාදනය කරන පලාත් වලින් මිළදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දුන්තෙල් කිලෝ ග්‍රෑම් එකක මිළ රුපියල් තුන් දහසක් පමණ වෙනවා. ඉන්දියන් කෑම අලෙවි කරන කඩවල රුපියල් සියයට පොඩි පැකට් ගන්න තියෙනවා. සාමාන්‍ය වෙළදපොලේ දුන්තෙල් කියලා අලෙවි කරන්නේ ඕස්ට්‍රේලියන් බටර් ඔයිල්. ඒවා නම් මිලෙන් අඩුයි.කිලෝ ග්‍රෑම් එකක් රුපියල් හයසිය පනහක් වගේ තමයි වෙන්නෙ. දුන්තෙල් හොයා ගන්න බැරිම අය ඒවගෙන් ට්‍රයි කරලා බලන්න. බටර් ඔයිල් ගන්නවා නම් දුන්තෙල් යොදන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් ගන්න,, මොකද ඒවයින් සැර සුවඳක් එනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා හෝ සූදුරු සම්බා හාල් 500g
දුන්තෙල් මේස හැඳි 03
ගම්මිරිස් ඇට තේ හැඳි 01 1/2
කහ කුඩු තේ හැඳි 1/4ට අඩුවෙන්
ලොකු කුරුඳු කැබැල්ලක්
සිහින්ව ලියා ගත් ලොකු ළුෑණු ගෙඩියක්
ලොකු කරඳමුංගු ඇට 04ක්
කරාබු නැටි තේ හැඳි 01
කරපිංචා, සේර, රම්පෙ, ලෙමන් ග්‍රාස් ලොකු කැබැලි වලින් ගන්න. (පස්සෙ අයින් කරන්න ලේසි වෙන්න)
සාදන ක්‍රමය
මුලින් ම හාල් ටික සෝදලා වතුර බේරෙන්න තියන්න. ඒ අතර වතුර කේතලය පැහෙන්න තියන්න. මේ බත් වර්ගය හදන විට නටන වතුර තමයි දාන්න ඕනි. නැත්නම් බත් ඇට අමු වෙනවා.
දැන් බත පිසින බාජනය ලිපේ තියලා දුන්තෙල් මේස හැඳි තුන දාන්න. ඒ ටික දිය වේගෙන එද්දි කපා ගත් ළුෑණු, කරදමුංගු, කරාබු නැටි, ගම්මිරිස් ඇට, සේර රම්පෙ කරපිංචා ටික දාලා බැදෙන විට සෝදලා වතුර බේර ගත් හාල් ටික දාලා බැදෙන්න දෙන්න. විනාඩි තුන හතරක් පමන බැදෙන විට කහ කුඩු සහ ලුණු කුඩු ටිකක් එකතු කරන්න. දැන් නටන වතුර කෝප්ප තුන හමාරක් පමණ දමා හොඳින් පියන වසා විනාඩියක් පමණ වැඩි ගින්දරේ තබා ඉන්පසුව ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තබා බත පිස ගන්න. විනාඩි දොලහකට පමණ පසුව පියන හැර කූරු ගා නැවත පියන වසා අඩුම ගින්දරේ විනාඩි හතරක් පමණ පිස ගන්න. නැවතත් පියන හැර කූරු ගා කලින් දැමූ රම්පෙ සේර ආදිය අයින් කර ලොකු රම්පෙ කැබලි තුනක් පමන ගසා පියන වසා ලිප නිවන්න. විනාඩි පහක් පමණ එලෙස තබා බත් එක අරින්න. කොහොමද සුවඳ.. මේ වෙලාවෙ දුන් තෙල් බත් එක හරිම සුවඳයි. දැන් තමන් කැමති විදියට සරසා මේසෙට යවන්න. මේකට නම් සීනි සම්බෝලයක් විතරක් තිබුනත් ඇති. හදලා මටත් රස කියන්න අමතක කරන්න එපා.
07. චිකන් ෆ්‍රයිඩ් රයිස්
සති අන්තයේ රෙස්ටුරන්ට් වල රසට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් පවුලේ අයට හදලා දෙමුද?
විශේෂ අවස්ථා වලට පමණක් නොව ඕනෑම වේලාවක ලොකු පොඩි ඕනිම කෙනෙක් කන්න කැමති කෑමක් තමයි නෙ ෆ්‍රයිඩ් රයිස්.. ෆ්‍රයිඩ් රයිස් කිව්වම ගොඩක් ක්‍රම වලට හදන්න පුලුවන්..විවිධ රස වලට.. මේ තියෙන්නෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්නා හැටියි.
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී / කීරි සම්බා සහල් 500g
කුකුල් මස් 200g ( තම්බා සිහින්ව ඉරා ගන්න)
සිහින්ව කපා ගත් ළූණු කොල/ ලීක්ස් 100g
සිහින්ව කපා ගත් කැරට් 100g
තලා ගත් ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේ හැඳි 01
රම්පෙ කරපිංචා
චොප් කර ගත් ලොකු ළුෑණු ස්වල්පයක්
සෝයා සෝස්
තෙල් ස්වල්පයක්(සෙස්මි ඔයිල් නම් වඩාත් හොඳයි)
සුප් කැටයක් හෝ චිකන් ස්ටොක් පවුඩර් තේ හැඳි 01
බිත්තර දෙකක්
රස අනුව ලුනු කුඩු, ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය
මුලින්ම බත පිස ගෙන නිවෙන්න තියන්න.. බත පිසින විට තෙල් ස්වල්පයක් එකතු කරන්න අමතක කරන්න එපා.. බාස්මතී වලින් බත පිසිනවා නම් තල තෙල් ස්වල්පයක් එකතු කරන්න.. එතකොට ලස්සන ෂයින් එකක් එනවා.
දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික දාලා රත් වෙන විට ඉඟුරු, සුදුළුෑණු, රම්පෙ කරපිංචා සහ චොප් කර ගත් ළුෑණු ටික බැදෙන්න හරින්න.. හොඳ සුවඳක් එක්ක ඒවා බැදෙන විට තම්බා සිහින්ව ඉරා ගත් කුකුල් මස් ටික එකතු කරන්න.. මස් ටික බැදුනු පසු බිත්තර දෙක එකතු කරලා හොඳින් කලවම් කරන්න. (ඔම්ලට් නොවෙන විදියට..) ඊට පසුව සිහින්ව කපා ගත් කැරට් ටික එකතු කරලා සුප් කැටය කුඩු කරලා දාන්න.. තියෙනවා නම් සුප් කැට වෙනුවට චිකන් ස්ටොක් පවුඩර් එකතු කර ගන්න. එයටම බත් ටික එකතු කරලා සෝයා සෝස් ටිකක් එකතු කරලා ලිපේ දැල්ල ටිකක් වැඩි කර පෑන් එකේ මිටෙන් අල්ලා හොඳින් බත් ටික ෆ්‍රයි වෙනකම් (කඩේ වගේ සොලවමින්) මික්ස් කර ගන්න.. බාස්මතී බත් ගන්නවා නම් හැන්ද භාවිතය අවම කරන්න.. හොඳටම නිවුන බත් ගන්න නැත්නම් බත් ඇට ටික කැඩිලා ලස්සන නැතුව යනවා.. බත් ටික ෆ්‍රයි වෙන විට බත් ඇට පුපුරන සද්දෙ ඇහෙනවා.. එවිට කපා ගත් ලීක්ස් හෝ ළුෑණු කොල එකතු කර රස අනුව ලුණු බලා ලිපෙන් බා ගන්න.. මං නම් ගම්මිරිස් කුඩු චුට්ටකුත් ඉහිනවා.
දැන් රෙස්ටුරන්ට් වල රසටම ෆ්‍රයිඩ් රයිස් එක රෙඩී
08. කහ බත්
රෙසිපි ඕනි අයට
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හෝ හීනි ඇට සහිත හාල් කප් දෙකක්
තෙල් හෝ බටර් මේස හැඳි 01
කරාබු නැටි, එනසාල්, කුරුදු පොතු ස්වල්පයක්
රම්පෙ කරපිංචා
සිහින්ව ලියා ගත් රතුළුෑණු ගෙඩි 10ක්
කහ පාට කලරින් හෝ කහ කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු
සැරසීමට කජු, ප්ල්ම්ස්, ග්‍රීන්පීස්
බත ඉදෙන ප්‍රමාණයට පොල් කිරි, (උකු කිරි සහ දිය කිරි)
සාදන ක්‍රමය
බාස්මතී හාල් ගන්නවා නම් මුලින් ම සෝදලා පෙඟෙන්න තියන්න ඕනි පැය බාගයක්.. කීරි සම්බා නම් එහෙම කරන්න ඕනි නැහැ..
හාල් ටික පෙඟෙන අතරෙ පොල් කිරි ටික ලෑස්ති කර ගන්න ඕනි.. බත ඉදෙන ප්‍රමානෙට වතුර නෙවෙයි පොල් කිරි දාන්නෙ.. ආහ් ඉස්සෙල්ලාම හදන්න යන අයට කිරිබත් මතක් වුණාද 😜😜 හේ.. හේ.. මේ බත් එකේ රසය සුවඳ පෙනුම එන්නෙ පොල් කිරිවලින්.. බාස්මතී ගන්නවා නම් කිරි වැඩිපුර ඕනි නෑ.. හාල් පෙඟිලා තියෙන නිසා.. දියකිරි මිටිකිරි එකටම ගන්න.. කිරි එකට කහ කුඩු ටිකක් ලුණු කුඩු දාලා දිය කර ගන්න..
දැන් සාස්පානක් ලිපේ තියලා ඒකට බටර් හෝ තෙල් ටිකක් දාලා රත් වෙද්දි තලා ගත් ඉඟුරු සුදුළුෑණු රම්පා කරපිංචා කුරුදු, කරාඹු, එනසාල් වගේම රතුළුෑණු ගෙඩි දහයක් විතරත් හීනියට ලියලා බැදෙන්න දාන්න.. ඒ ටික බැදෙන කොට කිරි ටික දාලා හැඳි ගාන්න.. කිරි පැහෙන කොට හාල් ටික එකතු කරලා මද ගින්නේ පිස ගන්න.. රයිස් කුකර් එකෙත් හදන්න පුළුවන්.. බත ඉදීගෙන එනකොට ගේ පුරාම විහිදෙන සුවඳ අම්මෝහ් බඩගිනි වැඩි වෙනවා..
බත ඉදුනම ලස්සනට සරසවලා පිළිගන්වන්න.. කජු, ප්ල්ම්ස් ග්‍රීන්පීස් තමයි මං දාලා තියෙන්නෙ..
මේක කන්න කරි වැඩිපුර ඕනිම නැහැ.. මස්/මාළු ඇඹුල් තියල්/ෆ්‍රයිඩ් එග්/ මීට් බෝල් කරියක් හදා ගන්න..
වෙජි අයට බටුමෝජු/ අච්චාරු/අඹ/ඇඹරැල්ලා/ හතු/ සෝයාමීට් වගේ දෙයක් හොඳයි..
සුදට දේකුත් ඕනිම නිසා කජු හරි අල ස්ටීම් කරලා බොරේට හදා ගන්න.. පරිප්පු මට නම් හරියන්නෑ..
කට්ලට් හරි නූඩ්ල්ස් බැදුමක් හරි තියෙනවා නම් තවත් හොඳයි...
අමතක නොකර සලාදයක් හදා ගන්න.. අනිවා සලාදෙ ඕනි..
අමුත්තන්ට පිළිගන්වන්න, පවුලේ අයට රස විඳින්න, පාටීස් වලට, බත් පාර්සල් බඳින්න ඔය කොයි දේටත් හොඳයි මේ බත් එක.. අඩු වියදමින් හොඳ ලුක් එකක් ගන්න පුළුවනි 😎💪
09. ලෙමන් රයිස් 🍋🍋
විශේෂ අවස්ථා වලදි ෆ්‍රයිඩ් රයිස් වර්ග වලටම හිත යන්නෙ අපි නිතරම හදන්න පෙලඹිලා ඉන්නෙ ඒවමයි නිසා.. ඉන්දියානු බත් වර්ගයක් වන මේ බත් වර්ගය හරිම රසවත්. මේ බත් වර්ගය රස විඳින්නෙ මුදවපු කිරි සමගයි. මුදවපු කිරි එකට මං සැලඩ් කියුකම්බර් පොත්ත ග්‍රේට් කරලා කියුකම්බර් ජූස් සමඟ ලුණු, ගම්මිරිස් සහ ලෙමන් යුෂ තේ හැන්දක් එකතු කලා.. පෑන් ටෝස්ට් කල මස් හෝ මාළු වර්යක් තියෙනවා නම් තවත් රසවත්..
අවශ්‍ය ද්‍රව්‍ය
පිස ගත් බාස්මතී බත් කෝප්ප දෙකක් ( බෙරි නොවන ලෙස කහ සහ ලුණු ටිකක් දාලා පිස ගන්න)
කපා ගත් B ළුෑණු ගෙඩියක්
ඉඟුරු සුදුළුෑණු පේස්ට්
අබ තේ හැඳි 01
කරපිංචා
කජු/රටකජු
තෙල් මේස හැඳි 02 ( ගී රසට කැමති අය ගී ගන්න)
දෙකට කපා ගත් වියලි මිරිස් කරල් 01
චොප් කර ගත් අමු මිරිස් කරල් 03
ලෙමන් යුෂ 50ml ( හාල් 500g)
සීනි තේ හැඳි 01
රස අනුව ලුණු ගම්මිරිස්
කපා ගත් කොත්තමල්ලි කොල ටිකක්
සාදන ක්‍රමය
පෑන් එක ලිපේ තියලා තෙල් ටික එකතු කරලා රත් වෙද්දි අබ ටික දාන්න. ඉන්පසු ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක සහ කරපිංචා දාන්න. ඒවා බැදෙන විට ලොකු ළුෑණු, වියලි මිරිස් කරල, අමු මිරිස්, කජු රටකජු ටිකද එකතු කර බැදෙන්න හරින්න. දැන් බත් එක එකතු කර කලවම් කරන්න. ටික වෙලාවකින් ලෙමන් යුෂ එකතු කරලා රස අනුව ලුණු ගම්මිරිස් කුඩු ඉහලා සීනි තේ හැන්ද එකතු කරන්න.ටික වෙලාවකින් හොද සුවදක් එනවා. එතකොට ලිප නිවලා කොත්තමල්ලි කොල ටික එකතු කරලා කලවම් කරන්න. ඔන්න බත් එක හරි. සෝස් වර්ග රසකාරක වර්ග කිසිම දෙයක් නැතුව සරලව හදා ගන්න පුලුවන් රසවත් බත් එකක් තමයි මේ. කැමති නම් ට්‍රයි කරලා බලන්න.
10. ඩාල් රයිස්( පරිප්පු බත් )
මං හදලා තියෙන්නෙ කීරි සම්බා හාල් වලින්.. තමන්ට කැමති හාල් වර්ගයක් ගන්න පුළුවන්.
මුලින්ම සාස්පාන ලිපේ තියලා බටර්/තෙල් ටිකක් දාලා ඒකට රම්පෙ,කරපිංචා,සුදුළුෑනු පේස්ට් සහ චොප් කර ගත් ලොකු ළුෑණු ටිකකුත් දාලා බැදෙන්න හරින්න. හාල් ටික සෝදන ගමන්ම පරිප්පු ටිකත් සෝදලා පෙගෙන්න තියන්න.
ළුෑණු සුදු ළුෑණු ටික බැදී ගෙන එන විට හාල් ටිකත් එකතු කරන්න.බත 60%ක් ඉදෙන්න වතුර තියලා ඒකටම එනසාල් කරාඹු නැටි දෙක තුනක් එක්ක කුරුදු පොතු කෑල්ලක් එක් කරන්න. ලුණු ස්වල්පයක් හා කැමති නම් චිකන් කියුබ් එකක් ද එකතු කර ගන්න.
බතෙහි වතුර අඩු වී ගෙන යන විට පෙගෙන්න දාපු පරිප්පු ටික එකතු කරලා පොල් කිරි අඩු කෝප්පයක් දාන්න.. දැන් ලිප අඩු ගින්දරේ තියන්න. ටිකකින් හොඳ සුවඳක් ගේ පුරා විහිදෙයි. විනාඩි දහයක් විතර ගිය පසු පියන හැර කූරු ගා ලිපෙන් බා ගන්න. හැබැයි ඉතිං පරිප්පු ටික නම් දිය වෙලා ගිහින්.. එ්කෙන් තමයි බතට නියම රස එන්නෙත්. මං නම් කහ පොඩ්ඩකුත් එකතු කලා.. ඔයාලටත් කැමති නම් එකතු කර ගන්න පුලුවන්.
මේ බත් වර්ගය හරිම රසයි, ඒ වගේම සුවදයි. තමන් කැමති දෙයක් එක්ක රස බලන්න.
.
✍️ ʀ ᴇ ᴄ ɪ ᴘ ᴇ ᴄ ʀ ᴇ ᴅ ɪ ᴛ ᴛ o
ᴛ ʜ ᴇ ʀ ᴇ s ᴘ ᴇ ᴄ ᴛ ɪ ᴠ ᴇ
ᴏ ᴡ ɴ ᴇ ʀ
https://www.facebook.com/groups/garlicandginger/permalink/1413828712703461/?app=fbl
https://www.facebook.com/groups/garlicandginger/permalink/1415453919207607/?app=fbl
https://web.facebook.com/share/p/9SJLafjhCZRcRWLD/
https://web.facebook.com/groups/garlicandginger/permalink/1534767790609552/?mibextid=bKks23
https://web.facebook.com/groups/472721136614788/permalink/1412606275959598/
https://web.facebook.com/groups/garlicandginger/permalink/1528873647865633/?mibextid=bKks23