කෙටි කෑම ( නොපිසූ ) සකස් කර , නිවැරදිව කල් තබාගෙන අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්නා ආකාරය ..
මේ පෝස්ට් එක සමූහයට දාන්න හිතුවෙ බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම් නිසා..ඉතින් මේ සම්භන්ධයෙන් හැමෝටමට තියෙන ගැටළුවලට පිළිතුරුත් එක්ක පියවරෙන් පියවර ගලපලා මම මේ පෝස්ට් එක සකස් කළේ..ඒ නිසා හැමෝටමට මේ පිළිබඳව නිවැරදි වැටහීමක් හා හොඳ අදහසක් ගන්න පුළුවන් වේවි කියලා හිතනවා..එහෙනම් බලමු මේ දේවල් නිවැරදිව පියවරෙන් පියවර කරන්නෙ කොහොමද කියලා ..
(1 ) කෙටි කෑම සකස් කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තෝරා ගැනීම ..
🔸 මේ සඳහා හැම විටම නැවුම් හා අලුත් එළවළු වර්ග , අල වර්ග , බිත්තර ,මාළු හා මස් වර්ග පාවිච්චි කරන්න ..එමෙන්ම හොඳ ප්‍රමිතියකින් යුතු කල් ඉකුත් නොවූ පිටි වර්ග , බිස්කට් කුඩු වර්ග , සොසේජස් වර්ග හා චීස් වර්ග පාවිච්චි කරන්න ..
(2) පිරවුම් සකස් කිරීම ..
🔸 පාවිච්චියට ගන්නා අල වර්ග හැකි නම් හුමාලයෙන් තම්බා ගන්න ..එමෙන්ම අල හැන්ඳකින් හෝ අල පොඩි කිරීමට යොදා ගන්නා උපකරණයකින් ( potato masher )
පොඩි කර ගන්න ..
🔸 යොදා ගන්නා මාළු හෝ මස් වර්ග ලුණු හා ගම්මිරිස් යොදා හොඳින් තම්බා කටු හා හම ඉවත් කර ගන්න ..හැකි නම් ඒවාත් ඉවුම්පිහුම් සඳහා පාවිච්චි කරන තුනී අත් වැසුමක් අතට යොදා ගනිමින් පොඩි කර ගන්න ..සැමන් මාළු පාවිච්චි කරනවා නම් , එහි ඇති දියර හොඳින් ඉවත් කර පොඩි කර ගන්න ..
🔸 එළවළු වර්ග , ( කැරට් , ලීක්ස් , බෙල් පෙපර් , පාස්ලි , රතු ළූනු කොළ වැනි දේවල් ) මෙන්ම ළූනු ,අමු මිරිස් ,කරපිංචා වැනි දේවලුත් හොඳින් සෝදා ,තෙත් ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු තබා කපා ගන්න ..
🔸 මිශ්‍රණය සකස් කිරීමේදී සුදු ළූනු , අමු ඉඟුරු , ගම්මිරිස් , කහ කුඩු ,මිරිස් කුඩු වර්ග , අවශ්‍ය තුනපහ කුඩු වර්ග යොදා ගනිමින් තෙල් ස්වල්ප වශයෙන් පාවිච්චි කර හොඳින් තෙම්පරාදු කර ගන්න ..
🔸 සකසා ගත් මිශ්‍රණය අනිවාර්යයෙන්ම ඉතා හොඳින් නිවීමට තබා , පසුව පිරවීමට යොදා ගන්න ..
(3) කෙටි කෑම සකසා ගැනීම ..
🔸 පැටිස් , එළවළු රොටී , වැනි ආහාර වර්ග සඳහා පිටි මෝලිය කැමති ලෙස පිරිසිදුව සකස් කර ගන්න ..රෝල්ස් , කට්ලට් වැනි බැටර් තවරා සකස් කරන ආහාර සඳහා ද ඒ ඒ අමුද්‍රව්‍ය යොදා ගනිමින් පිරිසිදු ලෙස ඒවා සකසා ගන්න ..
🔸 එසේ සකස් කර ගත් පිටි මිශ්‍රණ , පිරවුම් බැටර් හා බිස්කට් කුඩු යොදා ගනිමින් සාමාන්‍ය ආකාරයට කෑම වර්ග සාදා ගන්න ..
🔸 එළවළු රොටී සකස් කර ගත්තේ නම් , හැඩය පවත්වා ගැනීම සඳහා , ඒවායේ පැති හැඩ කර යන්තමින් පුළුස්සා ගන්න ..
(4) සකස් කර ගත් කෑම වර්ග අසුරා ගැනීම සඳහා යොදා ගත හැකි ඇසුරුම් වර්ග ..
🔸 මේ සඳහා වීදුරු හා සෙරමික් බාජන වඩාත් සුදුසු වන අතර කිහිප වාරයක් පාවිච්චි කළ හැකි ප්ලාස්ටික් ඇසුරුම් , සිප් ලොක් බෑග් හා ජලයට ඔරොත්තුදෙන කාඩ්බෝඩ් ඇසුරුම් වර්ග ද පාවිච්චි කළ හැකිය..
🔸 එසේ පාවිච්චියට ගන්නා සියළුම ඇසුරුම් පිරිසිදු හා ඉතාමත්ම වියලි තත්ත්වයේ තිබිය යුතුයි ..
(5) ආහාර වර්ග අධිශීතකරණයෙ ගබඩා කිරීම සඳහා ඇසුරුම්වල අසුරා ගන්නා ආකාරය ..
🔸 ඇසුරුම් කිරීම සඳහා, මුලින්ම බාජනයේ අඩියට තෙල් කඩදාසි කැබැල්ලක් එලන්න..ඒ මත සකසා ගත් කෑම වර්ගයකින් තට්ටුවක් අසුරන්න ..දැන් නැවතත් ඒ මතින් තවත් තෙල් කඩදාසි කැබැල්ලක් එලන්න..දැන් ඉතිරි කෑම ටික ඒ මතුපිට අසුරා ගන්න ..ඒ ආකාරයට එක් එක් ඇසුරුම්වල එක් එක් කෑම වර්ග අසුරා ගන්න ..( එසේ තෙල් කඩදාසි පාවිච්චි කළ යුත්තේ කෑම වර්ග එකිනෙකට ඇලවීම වැලැක්වීම සඳහාය )
🔸 එසේත් නැත්නම් සකස් කර ගත් කෑම, අධිශීතකරණයට දැමිය හැකි , තෙල් කඩදාසියක් දැමූ ට්‍රේ එකක් මත එකිනෙකට නොගෑවෙන සේ අසුරා අධිශීතකරණයෙ පැය දෙකක් පමණ තබන්න ..කෑම මත හොඳින් අයිස් තට්ටුවක් බැදුණු පසුව ඉවතට ගෙන සාමාන්‍ය ලෙස ඇසුරුම් කරන්න .. (එසේ කළ විට තෙල් කඩදාසි දැමීම අවශ්‍ය නොවේ)
(6) ඇසුරුම් කළ ආහාර වර්ග අධිශීතකරණයෙ ගබඩා කරන ආකාරය ..
🔸 ඇසුරුම් කරන ලද සියළුම ආහාර පියනකින් හොඳින් වසා ගන්න ..දැන් අවශ්‍ය අවස්ථාවලදි පිටතට ගැනීම පහසු ලෙස අධිශීතකරණයෙ ගබඩා කරන්න ..
🔸 සෑම විටම අධිශීතකරණයෙ උෂ්ණත්වය එකම මට්ටමක පවත්වා ගන්න ..
🔸 මෙවැනි ආහාර වර්ග ශීතකරණයේ ගබඩා කරන්නේ නම් , කිසිම අවස්ථාවක ශීතකරණය ක්‍රියාවිරහිත කිරීමෙන් වලකින්න ..
(7) සකස් කර ගත් කෙටි කෑම , ආහාරය සඳහා සකසා ගන්නා ආකාරය ..
🔸 කට්ලට් , පැටිස් , රෝල්ස් වැනි ආහාර අධිශීතකරණයෙන් ඉවතට ගත් සැනින්ම , අයිස් ඉවත් වීමට පෙර, හොඳින් රත් වූ තෙල්වල බහා බැද ගන්න ..( අයිස් ගතිය තිබියෙදී බැදීමෙන් තෙල් විසිරේ යැයි සිතේ නම් පමණක් යන්තමින් අයිස් ගතිය යනතුරු, විනාඩියක් දෙකක් පමණ තබා බැද ගන්න ..නමුත් වැඩි වෙලාවක් තබන්න එපා..)
🔸 බේක් කරන ආහාර වර්ග අයිස් ගතිය ඉවත් වන තුරු ටිශු කඩදාසියක් මත තබා, පසුව බේක් කර ගන්න ..
🔸 එළවළු රොටී වැනි පුළුස්සා සකස් කර ගන්නා ආහාරද අයිස් ගතිය යන තුරු තබා පුළුස්සා ගන්න ..
🔸 ඒ වගේම මේ කෑම air fryer එකක් භාවිතා කර කෑමට සුදුසු ආකාරයට සකස් කර ගන්නත් පුළුවන් ..එහෙම හදා ගන්නවා නම් මේ කෑමවල වටේට එළවළු තෙල් ස්වල්පයක් ආලේප කර සාදා ගන්න .. එතකොට කට්ලට් , රෝල්ස් වගේ දේවල් පිපිරීමෙන් තොරව හදා ගන්න පුළුවන් වගේම , air fryer එකේ දැම්මාම ඇති වන කෑමවල පෙනුමේ රළු ගතියත් නැතිව ලස්සනට හදා ගන්නත් පුළුවන් ..හැබැයි එළවළු රොටී air fryer එකේ හදා ගන්න පුළුවන්ද කියලා නම් මම දන්නෙ නෑ.. කොහොම නමුත් මේක තමයි වඩාත් සෞඛ්යරාක්ශිතම ක්‍රමවේදය , තෙලේ බදින මේ වගේ කෑම තෙල් භාවිතා නොකර සකස් කර ගැනීමට ..
(😎 ගබඩා කළ ආහාර වර්ග කල් තබා ගත හැකි උපරිම කාලය හා පාවිච්චියෙන් පසුව නැවත ගබඩා කරන ආකාරය ..
🔸 ඉහත උපදෙස් අනුව සාදා ගතහොත් මේ සියළුම ආහාර වර්ග මාස හයක් පමණ කල් තබා ගත හැකිය ..
🔸 එමෙන්ම ආහාර ඇසුරුම් ඉවතට ගත් පසුව , අවශ්‍ය ප්‍රමාණය ගෙන ඉක්මනින් ආපසු ඒවා හොඳින් වසා නැවත අධිශීතකරණයෙ ගබඩා කරන්න ..
මෙහිදී ඇතිවිය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ..
(1) අල වර්ග පාවිච්චි කිරීම නිසා කෑම නරක් විය හැකිද ..?
🔸 නැහැ.. එහෙම නරක් වෙන්නෙ නෑ..හුමාලෙන් තැම්බීම, අල පොඩි කිරීම සඳහා අත පාවිච්චි නොකිරීම හා හොඳින් තෙම්පරාදු කිරීම නිසා කොහෙත්ම එහෙම වෙන්නෙ නෑ..
( අල සාමාන්‍ය විදියට වතුරෙ දාලා තැම්බුවත් එහෙම නරක් වෙන්නෙ නෑ..හැබැයි දිගු කාලයක් තියා ගන්නවා නම් අල හුමාලෙන් තම්බා ගැනීම සුදුසුයි )
(2) මාස කිහිපයක් යනකොට මේවා නරක් වේවි ද ..?
🔸 නැහැ.. එහෙම වෙන්නෙත් නෑ.. හැබැයි අර මුලින් කිව්ව උපදෙස් හරියටම පිළිපැද්දොත් ..
(3) කල් යනකොට අමුතු රසක්.. පිළුනු රසක් එන්නෙ නැද්ද ..?
🔸 නැහැ.. කොහෙත්ම නෑ ..ඒ වෙලාවෙම හැදුවා වගේ හොඳින් රසවත්ව හා නැවුම්ව තියෙනවා ..
(4) හැඩයෙ වෙනසක් වෙන්නෙ නැද්ද ..ලස්සනට තියෙනවාද ..?
🔸 නිවැරදි විදියට ඇසුරුම් කරලා තියා ගත්තොත් හැඩය වෙනස් වෙන්නෙ නැහැ.. හැදුවට පස්සෙ මේ දැන් හැදුවා වගේ හොඳ ලස්සනට තියෙනවා ..
(5) ශීත ගතිය තිබියෙදීම බැදීමෙන් කෑමවල ඇතුල සීතල ගතිය තියෙනවද ..?
🔸 මෙහෙමයි .. හරි විදියට බැද ගත්තෙ නැත්නම් එහෙම වෙන්න පුළුවන් ..ඒ නිසා තෙල් ටික අඩු ගින්දරේ හොඳින් රත් කර ගෙන කෑම වර්ග කළු පාට නොවී ගානට බැද ගන්න ..ඉහළ ගින්දරේ තෙල් රත් කරලා බැද ගත්තොත් කෑමවල පිටත කළු වෙලා මැද සීතල ගතිය ඉතුරු වෙන්න පුළුවන් ..ඒ වගේම අනිවාර්යයෙන්ම බැද ගන්න කෑම ගිල්විය හැකි තරම් තෙල් ප්‍රමාණයක් තිබිය යුතුමයි ..
(6) මේ විදියට අධිශීතකරණයෙ ගබඩා කරපු ආහාර කෑමට ගැනීම සෞඛ්යරක්ෂිතද..?
🔸 ඒකට නම් වෛද්‍යවරයකු දෙන තරමේ විද්‍යාත්මක පිළිතුරක් දෙන්න මට තේරුමක් හෝ දැනුමක් නෑ.හැබැයි මගේ පවුලේ වෛද්‍ය තුමිය නම් කිව්වෙ ආහාරයක් ශීතකරණයේ තබා රත් කර, එය සිසිල් වූ පසුව නැවතත් ශීතකරණයේ තබා නැවතත් රත් කර ආහාරයට ගැනීම නුසුදුසු බව පමණයි ..කොහොම උනත් දීර්ඝ කාලයක් තිස්සෙ මේ ක්‍රමවේදය පාවිච්චි කරන අපිට නම් මෙතුවක් කාලෙකට කිසිම සෞඛ්‍යයමය ගැටළුවක් ඇති වෙලා නෑ..
(7) මේ කෑම දරුවන්ට දුන්නට කමක් නැද්ද ..?
🔸 ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්නකො , ලංකාවේ සුපිරි වෙළෙඳසැල්වල මේ වගේ මාස ගණන් තියා ගන්න පුළුවන් විදියට හදලා , අධි ශීත කරපු කෑම කොච්චර තියෙනවද කියලා ..දිනකට කොච්චර ප්‍රමාණයක් මිනිස්සු , ඒවා ගෙවල්වලට ගෙනියනවද කියලා ..ඔයාලත් ඒවා අරගෙන නැද්ද ?.. එහෙම ගත්තු ඒවා දරුවන්ට දීලත් නැද්ද ? ඇත්තටම මම නම් ඕනෙ තරම් අරගෙන තියෙනවා .. ළමයින්ට දීලත් තියෙනවා ..ඉතින් නොයෙකුත් රස කාරක දාලා හදන ඒ වගේ කෑම ළමයින්ට දෙනවට වඩා හොඳ නැද්ද , අපි ගෙදර විශ්වාසයෙන් හොඳම අමුද්‍රව්‍ය දාලා ..රස කාරක නොදා හදන මේ වගේ කෑමක් දෙන එක.අනික අපේ ගෙදර තියෙන ශීතකරණයේ ස්වාභාවය හා ගබඩා කිරීමේ ක්රමවේදයත් අපිට විශ්වාසවන්තයිනෙ....ඔයාලට තියෙන ගැටළුව, මාස ගණන් අධිශීතකරණයෙ ගබඩා කරලා තියලා දෙන එක නම් මෙහෙම හදලා තියලා කෙටි කාලයක් ඇතුලත හදලා ඉවර කරන්න ..
(😎 මේ විදියට හදලා අධිශීතකරණයෙ ගබඩා කරලා තියා ගන්න පුළුවන් කෙටි කෑම වර්ග මොනවද ..?
🔸 සියළුම රෝල්ස් වර්ග , පැටිස් වර්ග , රොටී වර්ග , පීසා වර්ග , කට්ලට් වර්ග , සැන්විච් වර්ග , පේස්ට්‍රි වර්ග ඇතුළුව තවත් බොහොමයක් දේවල් මේ විදියට හදලා තියා ගන්න පුළුවන් ..
කැමති අයට සහ නොදන්න අයට, මේ එක් එක් කෑම වර්ග හදන විදිය තියෙන ලින්ක්ස් මම පහලින් දාන්නම්..එහෙම නැත්නම් ඔයාලට කැමති විදියට .. ඔයාලගෙ සුපුරුදු රසකින් මේවා හදා ගන්නත් පුළුවන් වගේම සමූහයේ තියෙන කෙටි කෑම වට්ටෝරුවලින් කැමති ඒවා තෝරගෙන හදන්නත් පුළුවන් ..මූලිකවම මම මේ පෝස්ට් එකේ වැදගත් තැනක් දුන්නෙ මේ කෙටි ආහාර නිවැරදිව සකස් කිරීම හා ගබඩා කිරීම යන කාරණා දෙකට..මේ පහලින් දාලා තියෙන පින්තූරවලිනුත් ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් වේවි ..😊
Kanchana jayasekara
එළවළු රොටී ..
https://m.facebook.com/groups/505469172944266...
බේක්ඩ් පැටිස් ..
https://m.facebook.com/groups/505469172944266...
කට්ලට් ..
https://m.facebook.com/groups/505469172944266...